For a son | පුතෙකුට

feature film | 2016


ita | eng

සාරාංශය

ඉතාලියේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක වාසය කරන සුනීතා කලකට පෙර ඉතාලියට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇයගේ සාමාන්‍ය දින චාර්යාව වන්නේ ඇවිදීමට නොහැකි ඉතා මහලු ඉතාලි ජාතික කාන්තාවක් බලාගනිමින් කරන සිය ‍රැකියාවත්, තම නිවසේ සිටින කෙමෙන් තරුන වියට පාතබන තම රටේ උපත ලද ,කලකට පසු ඉතාලියට සංක්‍රමණය වූ සිය පුත්‍රයා සමග ගත කිරීමත්ය.ඇයත් ඇගේ පුත්‍රයාත් අතර නිහඞවම යම් නොරුස්සනබවක් වැඩෙමින් පවතී. තම ලමා කාලයේ සිය මව නැතිව හැදීවෑඩෙන මෙම දරුවා පසු කලකදී ඉතාලියට පැමින මුහුනපාන මානසික සහ සංස්කෘතික පෙරලිය සුනීතාට තේරුම් ගැනීමට අපහසුවන අතර ජීවත්වීමට මුදල් උපයාගැනීම සඳහා කිසිදාක ජීවත්වීමට නොසිතූ රටක වෙසෙන්නට සිදුවීම ගැන ඇය සිතින් පීඩා විඳීයි. සිය පුත්‍රයාගේ අමුතු ආකාරයේ හැසිරීම නිසාඔහු විසින් උපන් රටේ හැදියාව සහ සංස්කෘතිය අමතක කරාවි යයි බියෙන් ඔහුව නිසිමගට ගැනීමට සුනීතා යම් යම් අයගෙන් උදව් උපකාර උපදෙස් පතයි. ඔවුන් ඇයට උදව් කරන්නේ කුමක් සඳහාද? සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?......

සංදර්භය

අද්විතීය කලා නිර්මාණයක් බිහි කිරීමේ උවමනාව මත නොව යුගයක අවශ්‍යතාවයක් පිරිමැසීම උදෙසාම කළ සිනමා සිත්තමක් ගෙත්තම් වූ අයුරු මෙසේ හෙළි කරන්නෙමු.
රන් දමක් සේ මුතු පටක් සේ අපි අපිම එක්වීමු. එකිනෙකා සතු වටිනාකම් එකම රේඛාවක එකම දාමයක අමුණන්නට අපට තිබුණේ එකම සමාජ පසුතලයක නෙත ගැටෙන මනස නොදකින සියුම්ව නොවිචාරනා කළ සංකීර්ණත්වය මතු කරගත නොහැකි වූ පැනයක් හඳුනා ගැනීමේ උවමනාව නිසාම වූ පරිත්‍යාගශීලිත්වය පමණි.
මෙම සිනමා කෘතියේ අන්තර්ගතය පවතින්නේ අප ඇසුරේමය. යුරෝපා රටකය. මතුකළ ගැටළුව පැන නගින්නේ එනිසාමය. අප වනාහී මොංගෝලියානුවෝය. ආසියායුවෝය. ඒ අපේ ජානවල හිමිකාරිත්වය යි. අප සිතන්නේ පතන්නේ අපේම සංස්කෘතියක සාරධර්ම පද්ධතියක අයිතීන්ට අනූවය. කොපුවෙන් නෑරුනු නෙළුම් කැකුළු සේ සියලු සුන්දරත්වයන් වසාගෙන රකින්නට තැත්කරන අප මිණියෙන් විනිර්මුක්තව සංවෘතභාවය නොව විවෘතභාවයම සංස්කෘතිය කරගත් කොකේසියානුවෝ හෙවත් යුරෝපීයන් අතරය මේ වෙසෙන්නේ.
ඉඳින් එකී පරස්පරයම ගැටළුව කරගන්නා සුනීතා නම් වූ මෙකී කෘතියේ එන ප්‍රධාන චරිතය ඇගේ දරුවාට අයිතිවිය යුතු සංස්කෘතික උරුමයන් හා සාරධර්ම පද්ධතිය උදෙසා දරුවා තුළ ඇල්මක් ඇති කරන්නට දරන ප්‍රයත්නයක යථාර්ථවාදී දැක්මය 'FOR A SON (පුතෙකුට)' සඳහා හේතුභූත වන්නේ.

අධ්‍යක්ෂක සටහන්

මෙකී අනුභුතියම සිත පතුලේ තබාගෙන, අඩු ලුහුඩු සපුරමින්, මකමින් ලියමින්, සියලු සංස්කරණයන් සිත තුලම කරමින් සිටි මම, 2014 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට ගියේ මෙකී කතා වස්තුව දමා ගැට ගසා තිබූ මගේ සිත්මල්ල ලිහා මගේ මිතුරා හා ඒ ගැන විචාරන්නටමය. අපි කතා කළෙමු. වාද කළෙමු. විරුද්ධ වුණෙමු. එකඟ වුණෙමු. මතුවන ගැටළු ලිහා ගන්නට තැත් කරමින් මධ්‍යම රාත්‍රීන් මෙකී කතිකාවතටම ගෙවා දැමීමු. අවසානයේ තීරණය කළෙමු. ' අපි මේක කරමු'. වත්මන් සිනමා කෘති අභිබවා යන විප්ලවීය සිනමා කෘතියක් සේ සිත තුල දඟලන එකී සෞන්දර්යාත්මක සිනමා කෘතියකට පණ දෙන්නට මමත්, මගේ මිතුරා අරවින්දත් තීරණය කළෙමු.
' විචිත්‍රත්වයෙන් හෝ විසිතුරු බවින් කතාව විනාශ නොකරගමු ',' අදාල චරිතයන් ඔවුන්ට අදාල පසුබිම මත පිහිටුවා එම මොහොතේ ඔව්න්ගේ සිතුවිලි තුළින්ම එන දෙබස් වලින් තාත්වික කතා වස්තුවක් අපි ගොඩනගා ගමු.'... වැනි එකඟතා මත මෙම කෘතිය සැබවින්ම සමාජ ගැටළුව නිරූපනය වන පරිදි මතු කර ගන්නට වෙහෙස දැරීමි. අප දැරූ වෙහෙසේ ප්‍රතිඵල අපි ඔබට තිළිණ කරගන්නෙමු. ඉඳින්, අප සාර්ථක වන්නේ එකී ඵලයේ රස ඔබට දැනුනු විටය. එකී රස ඔබ හඳුනාගත් විටය. එහෙයින්, අප විචාරන්නට පූර්ණ අයිතියද අපිම ඔබට පවරා දෙන්නෙමු.

අපි

අඬුලුහුඩු නොමැතිව සාමාන්‍ය සිනමා කෘතියක් නිර්මාණය කරනා අයුරින්ම සියල්ල සම්පාදනය කර ගැනීමේ උවමනාව අපට තිබිණි. කවරනම් කුලයක ජාතියක ආගමක වර්ණයක අයිතියක් ලදුවත් දුගී පැලක රන් මැදුරක බිහි කළත් හුස්ම පොදක් වැටෙනා ජීවියකු මෙලොවට ප්‍රසූත කරන්නට දරනා විලිබරෙහි වෙනසක් නැත්තා සේම මෙකී සිනමා කෘතියද වෙනුවෙන් අපිදු එක සේම එකී විලි බර එක සිතින් දැරුවෙමු. එක සිතින් වින්දෙමු. බිහිවන නවමු ජීවියා ගැන දකිනා සිහිනයෙන් නොසැලී එකාවන්ව සිටියෙමු. එකම බත් පත මදි නොකියා කෑවෙමු. කුස ගින්න හෝ ශාරිරික වෙහෙසට සිතේ ඉඩක් නොතියාම සියලු දුක් ගැහැට මිත්‍රත්වයෙන් වින්දෙමු. එක්සත්ව එක්සිත්ව සිටියෙමු. මහා ප්‍රාඥයෝ අප අතර නොසිටියෝය. මහා ශක්තිධරයෝ අප අතර නොසිටියෝය. සැබෑ සමාජ මෙහෙවරක් උදෙසා පූර්ණ කාලීනව කැපවූවෝ අප අතර වූහ. එකී සහෝදරත්වයෙන්, එකී සාමුහිකත්වයෙන්, එකී ශක්තියෙන් දැරූ වීරියෙන් අපි අපේ නවජයා බිහි කළෙමු.